BREAKING NEWS

මීගමුව රෝහලේ නව ඩෙංගු රෝගී වාට්ටුව ලබන සතියේ විවෘත කෙරේ

මීගමුව රෝහලේ නව ඩෙංගු රෝගී වාට්ටුව ලබන සතියේ විවෘත කෙරේ

( මිනුවන්ගොඩ - අයි. ඒ. කාදිර් ඛාන් )

   මීගමුව දිස්ත්‍රික් රෝහලේ නව ඩෙංගු රෝගී වාට්ටු දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, ලබන සතියේ දී එම වාට්ටු දෙක සඳහා ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගත හැකි බවත්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය නිලන්ති පතිරණ මහත්මිය විශ්වාසය පළකළාය.
   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, පසුගිය ජූනි මස 28 වනදා මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් දුන් උපදෙස් අනුව මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම වාට්ටු සඳහා අවශ්‍ය ඇඳන් සැපයීමෙන් අනතුරුව විවෘත කළ හැකි බවත්, වෛද්‍ය පතිරණ මහත්මිය පැවසුවාය. 
   මීගමුව සහ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන්, රෝහලේ ඩෙංගු රෝගී වාට්ටු සංකීර්ණයේ තදබදයක් ඇතිවී තිබූ අතර, ජනාධිපතිවරයා දුන්  උපදෙස් අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල, එහි සේවයේ යොදවා තිබෙන බවත් සඳහන් කළ වෛද්‍ය පතිරණ මහත්මිය, රෝගීන් සඳහා වූ සනීපාරක්ෂක පහසුකම් ද පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවත්, මීට අමතරව දැනටමත් විශේෂඥ වෛද්‍ය පහසුකම් ද සපයා තිබෙන බවත් ප්‍රකාශ කළේය.

( අයි. ඒ. කාදිර් ඛාන් )

Share this:

Post a Comment

 
Copyright © 2022 Al Jazeera Lanka. Template Designed by Themes - Videopiar