මහජනතාව විසින් පළාත් පාලන ආයතන වෙත කරනු ලබන සියළුම ගෙවීම් විද්‍යුත් කාඩ්පත් මගින් සහ ගෙව්ම් යන්ත්‍ර මගින් සිදු කිරීම ට අදාල ඊ - පළාත් පාලන පද්ධතිය දියත් කිරීම ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා ගේ සහ ගරු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී ඊයේ (29 දා) පැවැත්විනි.
ජනතාව හා නිරන්තරයෙන් සම්බන්ධව වන අත්‍යාවශ්‍ය ආයතනයක් වන පාලන ආයතන මේ වන විට ඉතා දූෂිත හා අකාර්යක්ෂම තත්වයකට පත් වී ඇති බව ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “මෙම දූෂණ හා අකාර්යක්ෂමතා නැති කිරීම සදහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ නව තාක්ෂණය පළාත් පාලන ආයතන සදහා හදුන්වා දීමේ පළමු පියවර ලෙස පළාත් පාලන ආයතන 30 ක් සදහා නව තාක්ෂණි ක්‍රමවේදයන් ආරම්භ කරනවා. මේ සදහා අපට විශාල ශක්තියක් වෙමින් ගරු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගෙන් සහ එම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) තුලින් ලැබෙන සහාය අගය කරනවා. පළාත් පාලන ආයතන තුල ඇති දූෂණය නැති කිරීමට නොහැකිනම් රටක් ලෙස කිසිසේත් ප්‍රගතිශීලීව ගමනක් යා නොහැකි යි”.
අමාත්‍යවරයකු අමාත්‍යාංශයේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ ලේකම්වරයාගේ මාර්ගයෙන් බවත් විධායක ජනාධිපතිවරයා වුවත් බලය ක්‍රියාත්මක කරන්නේ ලේකම්වරයා හරහා වුවද අවාසනාවකට පළාත් සභා පනත තුලින් විධායක බලය ඝෘජුවම සභාපතිවරුන්ට සහ නගරාධිපතිවරුන්ට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවසීය. මේ නිසා දේශපාලන අධිකාරිය ප්‍රතිපත්තිමය තීරණ වලට සීමා විය යුතු බවත් යල්පැන ගිය පනත් නිසා විධායක බලය ඝෘජුවම ක්‍රියාත්මක කිරීමට යාමේ දී විවිධ ගැටළු රාශියක් පැනනැගී ඇති බවත් ,සමහර පළාත් පාලන ආයතනවල කාලය අවසන් වන විට සැලසුම් විශාල ප්‍රමාණයක් සභාපති වරුන්ගේ මේස ලාච්චු තුල ගොඩගැසී තිබූ බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා යහපාලනය ගැන කථා කරනවා නම් පෙබරවාරි 10 වෙනිදාට පළාත් පාලන ආයතන සදහා පත්වන දේශපාලඥයන් හට දූෂණයෙන් ඈත් වීමේ අත්තිවාරමක් ඇති කළයුතු බව කියා සිටියේය.
“අපි පෙරටු කාර්යාල (Front office) පිළිබදව සෑහෙන කාලයක සිට කථා කලත්, පළාත් පාලන ආයතන වල නිළධාරීන් සෘජුවම මුදල් ගණුදෙනුවලට සම්බන්ධ විම නැවැත්වීම සදහා තීන්දු තීරණ ගත යුතුයි. එම වාතාවරණය ඇති කිරීමේ පළමු පියවර වශයෙන් පළාත් පාලන ආයතන 30 කට මුදල් ගණුදෙනු සෘජුවම කළ නොහැකි ලෙස හා නව තාක්ෂණය හරහා මුදල් ගෙවීමට මෙම ඊ - පළාත් පාලන පද්ධතිය පහසුකම් සලසනවා. යම් අයෙකුට නව තාක්ෂණික ක්‍රමය යටතේ මුදල් ගෙවීමට නොහැකි නම් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයීමට අපි කටයුතු කරනවා”.
එසේම නව දේශපාලන අධිකාරිය පත් වූ පසු නිලධාරීවාදයට යට නොවී නිසි තීරණ ගනීයයි තමන් විශ්වාස කරන බවත් , කොළඹ මහ නගරසභාව තුල නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තමන් උත්සාහ කලත් එහි දී මුලින් එකග වී පසුව එයට එරෙහි වූ බව පැවසූ අමාත්‍යවරයා, කොළඹ මහ නගරසභාව ජනහිතකාමී ද නැද්ද යන වග තමුන්නාන්සේලාම තීරණය කළයුතු බව පැවසීය. ගම්බද සමහර පළාත් පාලන ආයතනවලට මේ ක්‍රමවේදය අනුගමනය කලහැකි නම් කොළඹ මහනගර සභාව තුල මෙය අනුගමනය කිරීම කළ නොහැකි වීම පිළිබදව තමන් කනගාටුවන බවත් මේ පළාත් පාලන ආයතන ආදර්ශයට ගෙන කොළඹ මහ නගරසභාවට වෙනස් වීමට කාලය උදා වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාව සදහා ගරු විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා, ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ඇතුළු අමාත්‍යාංශ වල ඉහල නිලධාරීන් රැසක් සහභාගීවිය.
ඊ - පළාත් පාලන පද්ධතිය ක්‍රියාත්මක පළාත් පාලන ආයතන
1. ජාඇල නගරසභාව
2. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාව
3. කළුතර නගරසභාව
4. බේරුවල නගරසභාව
5. බොරලැස්ගමුව නගරසභාව
6. හොරණ නගරසභාව
7. බදුල්ල මහ නගරසභාව
8. බන්ඩාරවෙල මහ නගරසභාව
9. බුත්තල ප්‍රාදේශීය සභාව
10. කරච්චිප්‍රාදේශීයසභාව (කිලිනොච්චි)
11. පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශීය සභාව
12. වලිකාමම්(දකුණ) ප්‍රාදේශීය සභාව
13. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව
14. නුවරඑළිය ප්‍රාදේශීය සභාව
15. කෑගල්ල නගරසභාව
16. වාරියපොල ප්‍රාදේශීය සභාව
17. නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව
18. කුලියාපිටිය නගරසභාව
19. රබෑව ප්‍රාදේශීය සභාව
20. තමන්කඩුව ප්‍රාදේශීය සභාව
21. මාතලේ ප්‍රාදේශීය සභාව
22. පූජාපිටිය ප්‍රාදේශීය සභාව
23. කාට්ටන්කුඩි නගරසභාව
24. සමන්තුරෙයි ප්‍රාදේශීය සභාව
25. වව්නියා නගරසභාව
26. මන්නාරම නගරසභාව
27. ත්‍රීකුණාමලය නගරසභාව
28. බෝපේ - පෝද්ද ප්‍රාදේශීය සභාව
29. අකුරුස්ස ප්‍රාදේශීය සභාව
30. බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව

Post a Comment